HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2024 නොබෙල් සම්මානයේ අභිමන් ලද්දෝ

ස්වීඩන ජාතික රසායන විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමැත්තට අනුව පිරිනැමෙන ලොව විශිෂ්ටතම සම්මානය වූ නොබෙල් සම්මාන හිමිවන ශ්‍රේෂ්ඨයන්ගේ නම් දැන් ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා පිරිනැමෙන රන්පදක්කම හා මුල්‍යමය ත්‍යාග පිරිනැමීම ආරම්භ වූයේ 1901 වසරේ සිටය‍. මේ සම්මාන පිරිනැමෙන්නේ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සහ සාමය යන ක්ෂේත්‍රවලටය. (ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ පසුවය.) ඒ ක්ෂේත්‍රවලින් මිනිස් වර්ගයාගේ යහපත උදෙසා අනූපමය මෙහෙයක් කළ ජීවත්ව සිටින විශිෂ්ටයන් අගය කිරීම සඳහා නොබෙල් සම්මානය වසරක් පාසා පිරිනැමෙයි. 

නොබෙල් සම්මාන නිර්මාතෘ ඇල්ෆඩ් නොබෙල්ගේ පිළිරුවක්

නොබෙල් ත්‍යාගයේ ආරම්භය ගැන අපූරු කතාවක් තිබේ. ඒ ඇල්ෆ්‍රඩ් නොබෙල්ට ඔහුගේ මරණය පිළිබඳ ආරංචිය පුවත්පත්වලින් කියවන්නට ලැබීමය. 1888 දී ඔහුගේ ලුඩ්විග් නම් සොහොයුරා මිය ගියේය. එහෙත් බොහෝ පුවත්පත් ඒ තොරතුර වරදවා පළ කර තිබුණේ ‘ඇල්ෆ්‍රඩ් මියගියා’ යනුවෙනි. සුප්‍රකට ප්‍රංශ පුවත්පතක් එය පළ කර තිබුණේ ‘මරණයේ වෙළෙන්දා මියයයි’ කියාය. තවදුරටත් විස්තර දක්වමින් එහි සඳහන් වූයේ, ‘මින් පෙර නොවූ විරූ වේගයකින් වැඩිම මිනිසුන් පිරිසක් මරා දැමිය හැකි ක්‍රම සොයා ගෙන එමගින් පොහොසත් වූ ආචාර්ය ඇල්ෆ්‍රඩ් නොබෙල් පෙරේදා මිය ගියේය’ කියාය. ඒ කතාව කියවූ නොබෙල්ගේ ඇඟ කිලිපොළා ගියේය. ඔහු ඉන් මහත්සේ භීතියට පත් විය. මරණින් පසු මිනිසුන් මේ ආකාරයෙන් තමාට සලකතැයි ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවීය. ඔහු දැඩි ලෙස වෙනස් වීමට ඉටා ගත්තේය. නොබෙල් ත්‍යාගය බිහිවූයේ ඒ අනුවය. ඔහුට අවශ්‍ය වූයේ ඩයිනමයිට් ලොවට දායාද කළ තැනැත්තා වෙනුවට නොබෙල් ත්‍යාගය ලොවට දුන් තැනැත්තා ලෙස ඔහුව හඳුන්වනු ලබන්නටය. 

නොබෙල් සම්මාන රන්පදක්කම - මේ සමග රුපියල් කෝටි 30කට අධික මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

1895 නොවැම්බර් 27 වැනිදා පැරීසියේ දී ඔහු සිය අන්තිම කැමති පත්‍රය ලියුවේ ඔහුගේ වත්කම්වලින් 94%ක් වෙන් කර ඒ මුදලින් නොබෙල් ත්‍යාග පිරිනැමීම සඳහා අරමුදලක් පිහිටුවන්නටය. ඒ අනුව වසරක් පාසා විද්‍යා ක්ෂේත්‍ර තුනක් හා සාහිත්‍යය ආවරණය වන පරිදි සම්මාන හතරක් හා පස් වැනි සම්මානය ලෙස ලෝක සාමය සඳහා කැපවූ පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට පිරිනැමෙන සම්මානයක්ද ඇති කරන්නට ඒ අන්තිම කැමති පත්‍රයෙන් යෝජනා කළේය. මේ සඳහා සුදුස්සන් ජාති බේද, වර්ග බේද, භාෂා බේද, පක්ෂ ‍බේද ආදි කිසිවක් නොමැතිව අපක්ෂපාත ලෙසින් මුළු ලෝකයෙන්ම තෝරා ගතයුතු බවද ඉන් අවධාරණය කෙරිණ. නොබෙල් අරමුදල මේ වන විට ස්වීඩන ක්‍රෝනා බිලියන 6ක් ඉක්මවා වර්ධනය වී ඇත. තෑගි මුදල මෙහි වර්ධනයට සාපේක්ෂව වසරක් පාසා වැඩි කරනු ලැබේ. 

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේ 7 – 14 අතර කාලයේ දී නොබෙල් සම්මානලාභීන් ප්‍රසිද්ධ කරනු ලැබේ. නොබෙල් සම්මාන පිරිනැමෙන්නේ දෙසැම්බර් 10 දා ය. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අනුස්මරණ දා ය. නොබෙල් සාම ත්‍යාගය නොර්වේ රාජ්‍යයේ අගනුවර වූ ඔස්ලෝ නුවරදීත්, අනිකුත් ත්‍යාග ස්වීඩනයේ අගනුවර වූ ස්ටොක්හෝම්හිදීත් ප්‍රදානය කෙරේ. නොබෙල් ත්‍යාග සලකනු ලබන්නේ ඒ ඒ අදාළ ක්ෂේත්‍රවල ලොව ඉහළ ම ගෞරවය පිරිනැමෙන සම්මානය ලෙසය. 1968 වසරේ දී ස්වීඩනයේ (ස්වෙරිජස් රිස්ක්බෑන්ක්) මහ බැංකුව, ආර්ථික විද්‍යාව සඳහාත් නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කළේය. එය නොබෙල් අනුස්මරණ ස්වෙරිජස් රිස්ක්බෑන්ක් ත්‍යාගය ලෙස නම් කෙරිණ. එය නොබෙල් ත්‍යාගවලට සමගාමීව පිරිනැමීම ආරම්භ කෙරිණ. ඒ 1969 වසරේදීය. ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ලෙස ප්‍රදානය කෙරෙන්නේ මෙයයි. මෙය නිල වශයෙන් නොබෙල් ත්‍යාගයක් සේ නොපිළිගැනුන ද ඒ පිළිබඳව නිවේදනය සහ ත්‍යාග පිරිනැමීම සිදුකරනු ලබන්නේ අනිකුත් නොබෙල් ත්‍යාග සමගය. 

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් සම්මේලනය මගින් පිරිනමනු ලැබේ. නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරනු ලබන්නේ නොර්වේජියානු නොබෙල් කමිටුව මගිනි. සෑම සම්මානලාභියෙකුම රන් පදක්කමක්, අධිකාර පත්‍රයක් හා නොබෙල් පදනමේ වාර්ෂික ආදායම මත පදනම් වන ත්‍යාග මුදලක් හිමිවෙයි. මේ වසරේදී මේ එක ත්‍යාගයක වටිනාකම ස්වීඩ්න් ක්‍රෝනා මිලියන 11ක් වෙයි. (එය දළ වශයෙන් රුපියල් 306,729,772) නොබෙල් ත්‍යාගය සඳහා මියගිය අයෙකු සුදුසුකම් නොලැබුවද යම් අයෙකු සම්මානය හිමි කරගෙන තිබියදී එය ප්‍රදානය කිරීමට පෙර මිය ගියහොත් එම ත්‍යාගය ඒ පුද්ගලයාගේ නමට ප්‍රදානය කෙරේ. ත්‍යාගය පුද්ගලයින් තිදෙනෙකුට වඩා වැඩි ප්‍රමණයක් අතරේ බෙදාහරිනු නො ලැබේ. විසිවන සියවස වන විට එක් සම්මානයක් උදෙසා සම්මානලාභීන්ගේ සාමාන්‍ය අගය සැලකිය යුතු පරිදි ඉහල ගොස් ඇත. 

භෞතික විද්‍යාව 


2024 භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වන්නේ ජෝන් හොප්ෆීල්ඩ් හා ජ්‍යොෆ්‍රි හින්ටන් යන දෙදෙනාට.

මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ජෝන් ජේ. හොප්ෆීල්ඩ් සහ පරිගණක විද්‍යාඥ ජොෆ්‍රි ඊ. හින්ටන් යන දෙදෙනාට හිමි විය. ඒ ‘යන්ත්‍ර ඉගෙනුම සහ කෘත්‍රිම බුද්ධිමය නියුරල් ජාලවලට හඳුන්වා දීම අරභයා සිදු කරන ලද මූලික සොයාගැනීම් අගය කරමින් බව’ නොබෙල් කමිටුව විසින් පැහැදිලි කර ඇත. නොබෙල් කමිටුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අද වන විට දියුණු තලයකට පැමිණ ඇති යාන්ත්‍රික ඉගෙනුමට (Machine Learning) පදනම දැමූ මූලික ක්‍රමවේදයන් සංවර්ධනය කිරීම සඳහා ඔවුන් භෞතික විද්‍යාත්මක මෙවලම් උපයෝගී කරගෙන තිබෙන බවය. මේ වන විට ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන හොප්ෆීල්ඩ්, රටාවන් ධාරණය කර තබා ගත හැකි සහ ප්‍රතිනිර්මාණය කළ හැකි මතකයක් නිර්මාණය කිරීමට සමත් වී සිටී‍. හින්ටන් මේ වන විට කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරයි‍. 

රසායන විද්‍යාව 

  

2024 රසායනික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වන්නේ ඩේවිඩ් බේකර්, ඩෙමිස් හැසබිස් හා ජෝන් ජම්පර් යන තිදෙනාට.

මිනිස් සිරුරේ සියලු සෛලවල ඇති ප්‍රෝටීන පිළිබඳ විස්මිත පර්යේෂණයක් සිදු කළ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, ජෝන් ජම්පර් සහ එංගලන්ත ජාතික ඩෙමිස් හසාබිස් යන විද්‍යාඥයන්ට 2024 සඳහා රසායන විද්‍යාව නොබෙල් ත්‍යාගය හිමිවිය. ප්‍රෝටීන පරිගණක ආකෘතියක් සැකසීම වෙනුවෙන් ඩේවිඩ් බේකර්ටත්, කෘත්‍රිම බුද්ධිය තුළින් ප්‍රෝටීනයේ ව්‍යුහය අනුමාන කිරීමට හැකියාව ඇති මොඩියුලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජෝන් ජම්පර්ට සහ ඩෙමිස් හසාබිස්ටත් මෙවර රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමෙන බව ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය එහි හේතු පාඨයෙන් දක්වා ඇත. පිරිනැමෙන මුදල් ත්‍යාගයෙන් හරි අඩක් ඩේවිඩ් බෙකර්ට ද, ඉතිරි අඩ ජෝන් ජම්පර් සහ ඩෙමිස් හසාබිස් අතර ද බෙදී යයි. 

වෛද්‍ය විද්‍යාව


2024 කායික හා වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වන්නේ වික්ටර් ඇම්බ්‍රොස් හා ගැරී රැව්කුන් යන දෙදෙනාට.

2024 වසර සඳහා, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥ වික්ටර් ඇම්බ්‍රොස් සහ ගැරී රෆ්කන් යන දෙදෙනා වෙත පිරිනැමුණි. ඒ, මයික්‍රො RNA සහ ජාන නියාමනය කෙරෙහි එහි ඇති වැදගත්කම සොයාගැනීම වෙනුවෙනි. “ඔවුන් කළ සොයා ගැනීම මනුෂ්‍යයන් ද ඇතුළු බහුසෛලික ජීවීන්ගේ ජාන නියාමනය කෙරෙහි වැදගත් වන, මෙතෙක් හෙළි නො වූ අලුත් ම මූලධර්මයක් අනාවරණය කිරීමක්.” යැයි නොබෙල් කමිටුව විසින් හේතුපාඨය ලෙස නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි. ඇම්බ්‍රෝස් මීට අදාළ සිය පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදීය. ඔහු මේ වන විට මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ චෑන් වෛද්‍ය විද්‍යාලයේ ස්වභාවික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. රෆ්කන් සිය පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ මැසචුසෙට්ස් මහ රෝහලේ සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ සිටය. ඔහු මේ වන විට හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. 

සාහිත්‍ය ත්‍යාගය 


2024 සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වන්නේ දකුණු කොරියාවේ හැන් කාන්ට.

2024 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු කතුවරියක වන හැන් කාන්ට පිරිනැමුණි. ‘ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළි කරන, ඇගේ තීව්‍ර කාව්‍යමය ගද්‍ය කෘතිට සඳහා’ මෙවර නොබෙල් ත්‍යාගය හැන් කාන්ට පිරිනැමෙන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. හැන් කාන් උපත ලැබුවේ 1970 දී දකුණු කොරියාවේ ග්වංජු නගරයේය. අවුරුදු නවයේදී, ඇගේ පවුලේ අය සමඟ ඇය සෝල් අගනුවරට සංක්‍රමණය වූවාය. ඇය සාහිත්‍ය පසුබිමකින් පැමිණෙන අතර, ඇගේ පියා කීර්තිමත් නවකතාකරුවෙකි. ඇයගේ ලිවීමට අමතරව, කලාව සහ සංගීතය සඳහාද කැපවී කටයුතු කර ඇත. එය ඇගේ සමස්ත සාහිත්‍ය නිර්මාණකරණය පුරාම පිළිබිඹු වේ. හැන් කාන් සිය වෘත්තීය ජීවිතය 1993 දී ආරම්භ කළේ ‘සාහිත්‍යය සහ සමාජය’ නම් සඟරාවක කවි පළ කරමිණි. ඇයගේ ප්‍රථම ගද්‍ය කෘතිය 1995 වසරේ දී පළ කෙරුණි. පසුව ඇය නවකතා සහ කෙටිකතා යන අංශ දෙ‍ෙකන්ම ගද්‍ය කෘති කිහිපයක් ද එළි දක්වා ඇත. 

සාම ත්‍යාගය 


න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියා කරන, ජපානයේ, නිහෝන් හිඩන්කියෝ ප්‍රමුඛ හිබකුෂා සංවිධානයට මෙම 2024 නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කර ඇත. හිබකුෂා සංවිධානය නිර්මාණය වී ඇත්තේ, හිරෝෂිමා සහ නාගසාකි ප්‍රදේශවලට එල්ල වූ පරමාණු බෝම්බවලින් ජීවිත ගලවාගත් පිරිසගේ එකතුවකිනි. ජපානයේ ප්‍රාන්ත 47ක ව්‍යාප්තව ඇති එම සංවිධානයේ සාමාජිකයින් සංඛ්‍යාව, එක් ලක්ෂ 74,080 ක් වේ. එදා බෝම්බ ප්‍රහාරවලින් බේරී අද වෙනත් රටවල සිටින පුද්ගලයින් ද මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇත. මෙවර නොබෙල් සාමත්‍යාග නිර්දේශක ලැයිස්තුවට විවිධ පාර්ශ්ව 286 ක් ඇතුළත්ව තිබුණි. ඒ, පුද්ගලයින් 197 ක් හා සංවිධාන 89 ක් ලෙසයි. න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියා කරන, ජපානයේ, හිබකුෂා සංවිධානයට මෙවර සාම සම්මානය පිරිනැමුණේ ඒ සියල්ල අතරින් බව පැවැසෙයි. 

ආර්ථික විද්‍යාව 

  ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඩේරියන් ආසේමෝගුලු, සයිමන් ජොන්සන් හා ජේම්ස් ඒ. රොබින්සන් ඒ තිදෙනාට.

2024 ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය හිමිකර ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් තිදෙනෙකි. ලෝකයේ ප්‍රබල ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලු, සයිමන් ජොන්සන් හා ජේම්ස් ඒ. රොබින්සන් ඒ තිදෙනාය. 

දේශපාලන ආයතන අතර සබඳතා ගොඩනඟා ගනිමින් ආර්ථික සංවර්ධනය අඛණ්ඩව, දීර්ඝකාලීනව සාර්ථකත්වයට පත් කර ගන්නා ආකාරය ගැන ඔවුන් කළ අධ්‍යයනයන් හා ඉන් හෙළිදරවු කරගෙන ලොවට දායාද කළ නව න්‍යායාත්මක දැනුම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය ඔවුන් තිදෙනාට පිරිනැමීමට නොබෙල් සම්මාන ප්‍රදාන කමිටුව විසින් තීරණය කර ඇත. ‘ඔවුහු ලෝකයේ සමහර රටවල් පොහොසත් වීමටත් සමහර රටවල් දුප්පත් වීමටත් හේතුව පෙන්වා දී ඒ ඇති නැති පරතරය පියවා ගැනීමේ දී රටක සංවර්ධනය සඳහා සමාජයික ආයතනවල ඇති වැදගත්කම පහදාදීමට අදාළව ඔවුන් කළ මෙහෙය වෙනුවෙන්’ මෙවර නොබෙල් ත්‍යාගය පිරිනැමෙන බව හේතු පාඨයෙහි දක්වා ඇත. 

ඩේරියන් ආසේමෝගුලුස් හා සයිමන් ජොන්සන් යන දෙදෙනා ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරුන් වන අතර ජේම්ස් ඒ. රොබින්සන් චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. 

- ලුසිත ජයමාන්න 

බීබීසී ඇසුරිනි 

 

 

 

 

 

2024 සාමය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වන්නේ ජපානයේ හිබකුෂා සංවිධානයට. 

Post a Comment

0 Comments